Sunday, December 7, 2014

නිහලුවා ගැන වැඩි යමක් : Balanophis ceylonensis (Sri Lankan Keelback) : What We Didn't Know

මෙම කෙටි ලිපිය සඳහා පාදක වූයේ 2014 වන වර්ෂයේ ජනවාරි මස සිදුවූ සර්ප දෂ්ටනයකි. මල් කරවලා නැත්නම් නිහලුවා යනු Natricidae කුලයේ (Family) Natricinae උප කුලයට(Sub Family) අයත් ශ්‍රී ලංකාවේ ආවේනික ඝනයක් (Genus) නියෝජනය කරන සුළු විෂ කාණ්ඩයේ සර්පයෙකි. මෙම ලිපියෙන් මා ඉස්මතු කිරීමට උත්සාහ දරන්නේ මෙම සර්ප විශේෂය "සුළු විෂ" සර්පයෙකු යැයි හඳුන්වාදීම කොතෙක් දුරට සාදාරණ ද යන්නයි.


                                                                                                මෙහි සඳහන් දෂ්ටනය සිදුවන අවස්ථාවේදී ගනු ලැබූ චායරූපයක්

1858 දී ජර්මානු පරිසරවේදියෙකු හා උරගවේදියෙකු වූ ඇල්බට් ගුන්තර් (Albert Günther) විසින් Tropidonotus chrysargus ceylonensis ලෙසින් නිහලුවා ලෝකයේ පළමු වරට විද්‍යාත්මකව විස්තර කරන ලදී. එදින පටන් වර්තමානය වන තෙක් මෙම සර්ප විශේෂය විද්‍යාත්මක වර්ගීකරණ කිහිපයකටම බඳුන් වී ඇති අතර Balanophis ceylonensis යනුවෙන් වර්තමානයේ හඳුන්වයි. මෙම සර්ප විශේෂය අනෙකුත් ගොඩබිම් වාසී සර්ප විශේෂ හා සැසදීමේදී විශේෂ ස්ථානයක් හිමිකර ගනී. එනම් Balanophis ඝනයේ මේ වන විට හඳුනාගෙන ඇති එකම සර්ප විශේෂය වීමයි. එබැවින් Balanophis ඝනය මුළු ලොවෙන්ම ශ්‍රී ලංකාවට පමණක් අවේනික වේ. මේ ලිපිය පුරාවටම "නිහලුවා" යන නම පමණක් භාවිත කිරීමට මා තීරණය කලේ,"මල් කරවලා"යන නාමය මෙම සර්පයාගේ පැවැත්මට හානිකර හැකි බැවිනි. සැබෑ කරවල් විශේෂයක් නොවන බැවින් එම නාමය භාවිතා කිරීමට මා පෞද්ගලිකව අකමැත්තක් දක්වයි.


ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වනාන්තරයක උරග ගවේෂණයක් කරමින් සිටි ජීව විද්‍යාඥයින් පිරිසකට මධ්‍යම ප්‍රමාණයේ නිහලුවන් දෙදෙනෙක් වාර්තා කිරීමට හැකි විය. සුළු විෂ කාණ්ඩයට අයත් සර්පයෙකු බැවින් ඔවුන් ඉන් එක් සර්පයෙකු චායරූපගතකිරීම සඳහා ආරක්‍ෂිත පියවර අනුගමනය නොකරමින් සත්වයා නිදහස් අතින් හසුරවා තිබේ. මෙම අවස්ථාවේදී 33න් හැවිරිදී පිරිමි ජීව විද්‍යාඥයකුගේ අත දෂ්ටනය කිරීමට සර්පයා සමත්ව ඇත. මෙය සැලකිය යුතු අවස්ථාවක් යැයි නොසිතූ ඔහු සර්පයා හට තමාව තව දුරටත් දෂ්ටනය කිරීමට ඉඩ දී ඇත. තත්පර 20ක් පමණ ගතවන විට ඇතිවූ තරමක් දැඩි වේදනාවක් නිසා සර්පයාව තම අතින් නිදහස් කල ඔහු හට දැකගැනීමට හැකිවූයේ දෂ්ට මුකයෙන් ලේ බින්දුවක් වහනය වීම පමණි. මෙම  දෂ්ටනයෙන් විනාඩි 10ක් යන්නට ප්‍රථම ඇතිවූ විවිද සංකූලථා කාලයත් සමග වර්දනය වූ බැවින් ඔහුව රෝහල් ගත කිරීමට සිදුවිය. ප්‍රතිකාර ලබා පැය 96කට පසු නැවත නිරොගී තත්වයෙන් රෝහලෙන් පිටවීමට ඔහුට හැකි විය. මෙම සිද්ධිය මෙම සර්ප විශේෂය මගින් විෂ ශරීරගත වීමෙන් සිදුවන සංකූලථා හා වෛද්‍යමය වැදගත්කමක් ඇති සිද්ධීන් පර්යේෂණාත්මකව වාර්තාගත කිරීමට හකිවූ පළමු අවස්තාව වේ. මින් පැහැදිලි වන්නේ B.ceylonensis යනුවෙන් විද්‍යාත්මකවද Sri Lankan Keelback හා Blossom Krait ලෙසින් ඉංග්‍රීසි භාෂාවෙන්ද හඳුන්වන නිහලුවාගේ විෂ සංචිත වන Duvernoy (ඩුවනෝයි) ග්‍රන්ථිය හා විෂෙහි අඩංගු සංඝටක වැඩිදුර පර්යේෂණ සඳහා භාජනය කලයුතු යන්නයි.

මෙම සර්පයාගේ අතීත විද්‍යාත්මක වර්ගකිරීම් සලකා බැලීමේදී ,ශ්‍රී ලංකාවේදී උපත ලැබූ වෛද්‍ය විද්‍යාඥයෙකු හා උරගවේදියෙකු වූ ෆ්රෑන්ක් වෝල් (Frank Wall) විසින් 1921 දී නිහලුවා නව ඝනයකට එක්කර විස්තර කර තිබේ. එනම් "Rhabdophis" ඝනයයි. Rhabdophis ceylonensis ලෙස නිහලුවා එවකට හැදින්වීමට හේතුව කුමක්ද? Rhabdophis යනු සුළු විෂ හා මාරාන්තික විෂ දෙකම අයත් ආසියාතික දියබරි ඝනයකි. වෝල්ගේ දත්ත රැස්කිරීම් හා නිගමන අනුව Rhabdophis ඝනයේ විශේෂ ලක්ෂණ දෙකක් නිහලුවාටද ලැබී ඇත.එනම් සාපේක්ෂව විශාල Duvernoy ග්‍රන්ථිය හා හිස පිටුපස සිට පෘෂ්ඨීයව සිරුරේ නැට්ට දෙසට දිවෙන Nuchal (නූචාල්) ග්‍රන්ථි පෙළයි. Nuchal ග්‍රන්ථි යනු උරගයින්ගේ පරිනාමයත් සමග ඔවුන්ට තමාගේ ආරක්ෂාව සඳහා ලැබී ඇති ග්‍රන්ථි පෙළකි. ආහාර වලින් ලබා ගන්නා "වස" සංචිත කරගැනීමට මෙම ග්‍රන්ථි උපකාරී වේ. මෙහිදී වස හා විෂ යනු එකිනෙකට වෙනස් ධූලක (Toxics) වර්ග දෙකක් වන බව දැනගත යුතුය. සර්පයෙකු විෂගෝර විය හැකි අතර වසගෝර නොවන්නේ මෙම හේතුවෙනි. නමුත් සර්ප ඝන අතුරින් ඇතැම් ඝන "වසගෝර" සර්ප ඝන කීවාටද වරදක් නැත. එවැනි යෙදුමක් සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා නොකලද ,එවැනි සර්ප විශේෂ ලෝකයේ සිටින බව දැනසිටිය යුතු කරුණකි. Balanophis, Rhabdophis හා Macropisthodon යන ඝන වල ඇතැම් සර්පයින්ට Nuchal ග්‍රන්ථි ඇති බැවින්, අහාර (විශේෂයෙන් සමෙහි වස සංචිත ඇති මැඩියන්) වලින් වෙන්කරගන්නා වස Nuchal ග්‍රන්ථි වල තැන්පත් කිරීමේ හැකියාව ඇත. අනතුරක් දැනූ විට මෙම ග්‍රන්ථි විහිදුවා , තම විලෝපිතයා හට තමාගේ වස පිරුණු ග්‍රන්ථි සපාකෑමට ඉඩ ලබා දෙයි. නමුත් නිහලුවාගේ ව්‍යාප්තියත් අප රටේ සිටින වස සංචිත ඇති මැඩියන්ගේ  ව්‍යාප්තියත් වෙනස් නිසා මෙම හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීමට තවම උරගවේදීන්ට හා විද්‍යාඥයින්ට හැකිවී නැත. ශ්‍රී ලංකාවේ දැනට හදුනාගෙන ඇති සර්ප විශේෂ 103 අතුරින් Nuchal  ග්‍රන්ථි පිහිටන සර්ප විශේෂ දෙක අතරට නිහලුවාද අයත් වේ. නිහලුවාගේ මුඛයේ උඩු තල්ලේ වන්නට පිහිටියා වූ, විෂ දළ (මේවා සැබෑ විෂ දළ ලෙස පිළිගන්නේ නැත.) ද හිසට සාපේක්ෂව තරමක් විශාලය. මේ සියලු කරුණු සලකා බැලූ විට 1921දී තිබූ පරීක්ෂණ පහසුකම් යටතේ මෙම සර්ප විශේෂය Rhabdophis ඝනයෙන් විස්තර කිරීම සාධාරණය. තාක්ෂණයේ දියුණුවත් සමග හඳුන්වාදුන් උපකරණ හා පර්යේෂණ ක්‍රම මගින් මෙම සර්ප විශේෂය Balanophis ඝනයට එක් කරන ලදී. Rhabdohips හා Balanophis යන ඝන දෙකම යම් යම් ලක්ෂණ පොදුවේ පෙන්නුම් කරන බැවින් සහෝදර ඝන දෙකක් ලෙස සැලකීම වරදක් නැත.

Opisthoglyphous ආකාරයේ දන්තන්‍යාසයක් පිහිටන නිහලුවා තම ප්‍රධාන ආහාරය ලෙස ගෙම්බන් සහ මැඩියන් ගොදුරු කරගනී. මෙවැනි කුඩා සත්ව කොට්ටාශයක් අඩපන කිරීමට තරම් සුළු විෂක් මෙම සර්පයාගේ පරිණාමයත් සමග ලැබී ඇතැයි සිතුවද, මෙම ලිපියෙහි විස්තර කර ඇති දෂ්ටනයත් සමග මේ ගැන වැඩිපුර සිතා බැලීමට සිදුවී ඇත.නිහලුවාගේ විෂෙහි ප්‍රබලත්වය ගැන යම් නිගමනයකට හෝ අදහසක් ගැනීමට අතීතයේ සිදුවූ සිද්ධීන් දෙකක් සලකා බලමු. Red Necked Keelback (Rhabdophis subminiatus) හා Japanese Tiger Keelback (Rhabdhophis tigrinus) යන Rhabdophis ඝනයේ සර්පයන් දෙදෙනාගේ දෂ්ටන නිසා ඇතිවූ විෂ ශරීරගතවීම් මීට කදිම උදාහරණ වේ. R.subminiatus දෂ්ටනයක් නිසා මරණාසන්න වූ පුද්ගලයෙකුද R.tigrinus නිසා ජීවිතක්‍ෂයට පත් වූ පුද්ගලයෙකුද වාර්තා වේ (Mather et al 1978, Ogawa and Sawai 1986). එවැනි සර්ප විශේෂ වලට විද්‍යාත්මකව නෑකම් කියන නිහලුවාගේ විෂ මෙම වසර වන විටත් ක්‍රමවත්ව පර්යේෂණ වලට බඳුන් නොවීම කුතුහලයට තුඩු වන කරුණකි.

ඇල්බට් ගුන්තර්(Albert Günther) විසින් මෙම සර්ප විශේෂය හඳුන්වාදුන් දිනයේ සිට මේ වන තෙක් නිහලුවා මගින් සිදුවූ දෂ්ටන සංඛ්‍යාව අඩු වීමට හේතුව කුමක්ද? නිහලුවාගේ ව්‍යාප්තිය සැලකූ විට මෙම විශේෂය ,කඳුකර, පහතරට හා අතරමැදි කලාපයේ තෙත් වනාන්තර වලට සීමා වූ විශේෂයකි. දිරායන කොළරොඩු අතර සැරිසරන නිහලුවාගේ පෘෂ්ටීය පැහැය මිනිස් ඇසින් සැඟවී පරිසරයට මනා ලෙස අනුවර්තනය වීමට උපකාරී වේ. දෂ්ටනයක් සිදු වුවද එය යාන්ත්‍රික කාර්යක්‍ෂමතාව අතින් අඩු අගයක් ගැනීමට වැඩි ප්‍රවනතාවක් ඇත. මෙයට හේතුව වන්නේ Opisthoglyphous ආකාරයේ දන්තන්‍යාසයක් පිහිටීමයි. මෙම කරුණු සියල්ල සැලකූ විට මිනිස්-නිහලු හමුවීම් අවමය.

මෙහි සඳහන් දෂ්ටනය යාන්තික කාර්යක්‍ෂමතාව අතින් වැඩි අගයක් ගන්නා දෂ්ටනයකි. මෙයට හේතුව දෂ්ටනයට ලක්වූ තැනැත්තා, සර්පයා හට තමාව කාර්යක්‍ෂමව සපාකෑමට ඉඩ සැලැස්වූ බැවිනි.සපාකෑමෙන් තත්පර 20ට පමණ පසුව ඔහුට ක්‍ෂණික වේදනාවක් ඇතිවූයේ මුඛයේ උඩු ඇන්දේ පිහිටි දළ යුගල ඔහුගේ සම පසාරු කර විෂ ඇතුල් කිරීමට හැකිවූ බැවිනි.නිහලුවාගේ විෂ අයත්වන්නේ "Haemotoxic" නැත්නම් රුධිර සංසරණ පද්ධතියට හානි කරන විෂ වර්ගයටය. අධික හිසරදයත්, දෂ්ටනයට ලක්වූ ස්ථානය වෙව්ලීමත්, වමනය සමඟ ලේ පිටවීමත් පැය කිහිපයකට පසුව රුධිරය කැටිගැසීමකට ලක් වීමත් මෙම දෂ්ටනය නිසා වාර්තා වී ඇත. වෛද්‍ය වරුන් පවසන පරිදි දෂ්ටනයට ලක්වූ පුද්ගලයා තව දුරටත් සර්පයා හට විෂ ඇතුල් කිරීමට ඉඩ දුන්නේනම් , වකුගඩු ආශ්‍රිත සංකූලථා හෝ වකුගඩු අකර්මන්‍ය වීමටද(Acute Renal Failure) අවධානමක් ඇත.

අවසාන වශයෙන් අපි අවබෝධ කල ගත යුතු වන්නේ, සර්ප විෂ එක්  එක් පුද්ගලයාට වෙනස් ආකාරයෙන් බලපාන බවයි. එය රඳා පවතින්නේ අදාල පුද්ගලයාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මතයි. ඉහත සඳහන් සිදුවීම මෙම සත්ව කොට්ටාශය පිලිබඳ මහජනයා දැනුවත් කිරීම සඳහා යොදාගැනීම වැදගත් වේ යයි මා සිතමි. නිකරුනේ සර්පයින් මරා පරිසරයේ සමතුලිතතාව වගේම රටේ ජෛවවිවිදත්වයට හානි කරන මිනිසෙක් නොවී සතුන් පිලිබඳ වැඩි දැනුමක් ඇති රටට හා එහි ගහ කොළ සතා සිව්පාවට ආදරය කරන මිනිසෙක් වීමට අපි සැවොම උත්සහ කල යුතුවේ. තවද නිහලුවා පිලිබඳ ඉදිරියේදී නව පර්යේෂණ සිදු වේයැයි බලාපොරොත්තු විය හැක. මෙම සිද්ධිය වාර්තා කල ජීව විද්‍යාඥයින් පිරිස පවසන පරිදි තාවකාලිකව නිහලුවා මද්‍ය විෂ කාණ්ඩයට (කුණකටුවා /පළා පොළඟා අයිති කාණ්ඩය)ඇතුලත්කොට කටයුතු කිරීම වඩා යෝග්‍ය වේ.

සටහන : සංජය කණිෂ්ක බණ්ඩාර

චායරූපය : news.yahoo.com වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී

No comments:

Post a Comment